spot_imgspot_img

පවුලේ ව්‍යාපාර සහ ඒ ඇසුරින් පැන නගින ගැටළු

පවුලේ ව්‍යාපාරයක් යනු ව්‍යාපාර ස්වභාවයන්ගෙන් පැරණිතම එකකි. එය එක් පවුලක සාමාජිකයන් වටා දෝලනය වන අතර, එය ආරම්භක පවුල සහ ව්‍යාපාරය යන ආයතන දෙකක ඛණ්ඩනයකි. මෙහිදී ව්‍යාපාර හිමිකාරිත්වයේ වැඩි කොටසක්  කාලත්‍රයින්, දරුවන් සහ දෙමාපියන් සහ ඥාතීන් වැනි පවුලේ සාමාජිකයින්ට අයත් වේ. ඔවුන් ව්‍යාපාරය තුල කොටස්කරුවන්, කළමනාකරුවන්, අධ්‍යක්ෂ මණ්ඩලය, උපදේශකයින් සහ සේවකයින්ගේ භූමිකාවන් ඉටු කරයි.

පවුල් ව්‍යාපාරවල හිමිකරුවන් සාමාන්‍යයෙන් දශක ගණනාවක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට හිමිකාරිත්වය ලබා දෙන අතර එය ආශීර්වාදයක් වන්නේ එය එවැනි පවුල් එදිනෙදා ජීවිතයට සමීප කරන බැවිනි. පවුලේ ව්‍යාපාර අනෙකුත් බොහෝ ව්‍යාපාරවලට වඩා ඔරොත්තු දෙන බව සාමාන්‍යයෙන් පිළිගැනේ. මෙය සිදු වන්නේ අයිතිකරුවන් ව්‍යාපාරය ගොඩනඟා එය තමන්ට ලැබුණු තත්ත්වයට වඩා හොඳ මට්ටමකින් ඊළඟ පරම්පරාවට ලබා දීමට කැප වූ විටය. එවැනි අවස්ථා සම්ප්‍රදායේ සහ වෙනස්වීමේ පරිපූර්ණ සංයෝජන වේ. කෙසේ වෙතත්, පවුල් ව්‍යාපාර ගැටළු වලින් නිදහස් නොවේ. පවුල් ව්‍යාපාරවල බහුලව දක්නට ලැබෙන අභියෝග කිහිපයක් පහතින් දැක්වේ.

ඥාති සංග්‍රහ පිළිබඳ  චෝදනා

Image by John Hain from Pixabay

පවුලේ ව්‍යාපාර වලදී, බොහෝ විට පවුලේ සාමාජිකයින්ට රැකියා ලබා දෙන්නේ ව්‍යාපාර හිමිකරු සමඟ ඔවුන්ගේ සම්බන්ධතාවය මතය. පවුලේ නොවන සාමාජිකයන් ද බඳවා ගන්නා එවැනි සංවිධාන තුළ, ඔවුන් තමන්ට ලැබිය යුතු යැයි හැඟෙන උසස්වීම් හෝ ප්‍රතිලාභ වෙනත් ආකාරයකින් ‘සොරකම්’ කරනු ඇතැයි යන බිය නිසා, ‘පවුලේ උරුමක්කාරයන්’ ලෙස තමන්ව ඔප්පු කිරීමේ අවශ්‍යතාවය ඔවුන්ට නිරන්තරයෙන් දැනෙනු ඇත. මෙය සිදුවීම වලක්වා ගැනීම සඳහා අයිතිකරුවන් විසින් පවුලේ නොවන සාමාජිකයින් වෙනුවෙන්  සාධාරණ ප්‍රතිපත්ති අනුගමනය  කළ යුතුය. පවුලේ සාමාජිකයන් නායකත්වයට අහසින් ගෙනවිත් නොදමා ක්‍රමානුකූලව නිසි සැලසුමක් ඇතිව ව්‍යාපාරයට හඳුන්වා දීමත්, ඔවුන් වර්ධනය වන විට ස්වකිය හැකියාවන්  ඔප්පු කිරීමට සැලැස්වීමත් වැදගත් වේ. ව්‍යාපාරික ක්ෂේත්‍රය මෙන්ම පවතින ශ්‍රම බලකාය පිළිබඳව මනා අවබෝධයක් ඇතිව නව පවුලේ සාමාජිකයන් ව්‍යාපාරයට සම්බන්ධ වීමද වැදගත් වේ.

අනුප්‍රාප්තික  ගැටළු

Image by mohamed Hassan from Pixabay

“ඊළඟට සමාගම භාර ගන්නේ කවුද?” යන පැනය පවුලේ ව්‍යාපාර වලදී, බොහෝ විට පැන නගියි.

හැකි ඉක්මනින්ම මෙය තීරණය කිරීම අනුප්‍රාප්තිකයාගේ හැඩගැන්වීම සඳහා වැඩි කාලයක් සහ ඉඩක් ඉතිරි කරයි. එය සමාගම තුළ සංස්කෘතිය සහ ක්‍රියාවලීන් අත්විඳීමට සහ සුමට සංක්‍රාන්තියක් සහතික කිරීමට ඔවුන්ට හැකියාව  ලබා දෙනු ඇත. කෙසේ වෙතත්, මේ තුල පවුලේ සාමාජිකයින්ට සහ පවුලේ නොවන සාමාජිකයින්ට ගැටුම් ඇති විය හැකිය.

“ඔබ පවුලට මුල් තැන දෙනවාද?”
“අනුප්‍රාප්තිකය – පවුලේ සාමාජිකයන් සඳහා පමණක්ද?”
“පවුලේ නොවන සාමාජිකයින්ගේ සුදුසුකම් සහ පළපුරුද්ද කෙරෙහි  තබා ඇති වටිනාකම කුමක්ද?”
මෙම ගැටළු සමඟ අප කටයුතු කරන්නේ කෙසේද?

මෙවැනි ගැටළු වලට උපදෙස් කිහිපයක් පහතින්.

  • සැහැල්ලුවෙන් සහ බාධාවකින් තොර පරිසරයක් තුළ සියලු කරුණු සාකච්ඡා කිරීමට සහ එකඟ වීමට පවුලට පමණක් වෙන්වූ කාලයක් මිඩංගු කරන්න.
  • හැකි ඉක්මනින් නව පරම්පරාව සූදානම් කරන්න
  • මධ්‍යස්ථ මතධාරීව රැස්වන විට රැස්ව තීන්දු තීරණ වලට එළඹෙන්න.

ව්‍යාපාරය සහ  හැඟීම් එකිනෙකින් වෙන්කර කටයුතු කිරීම

පවුලේ ව්‍යාපාර වලින් පවුල් සබඳතා වෙන් කිරීම කළ නොහැක්කකි, එය ඍණාත්මක හා ධනාත්මක ප්‍රතිවිපාක ඇති කළ හැකිය. නිදසුනක් වශයෙන්, ඔබේ පවුලේ සාමාජිකයා කාර්යබහුල කාලයක් ගත කරන්නේ නම්, ඔබ ඔහුට / ඇයට රැකියාවේදී වඩාත් නම්‍යශීලී බවක් ලබා දීම ගැන සලකා බැලිය හැකිය, එය වෘත්තීය තීරණවලට බලපානු ඇත. පවුලේ සාමාජිකයන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් අතර නොගැලපෙන අදහස් තිබේ නම්, ඔවුන් නිවාඩු කාලයකදී හෝ රාත්‍රී කෑම මේසයේදී පවා අහඹු ලෙස ගැටෙන්නට  පුළුවන. ඔබට පවුලේ ව්‍යාපාරයක් තිබේ නම්, රැකියා කටයුතු  කරන වේලාවන් තුළ හැඟීම්බර බැඳීම් පසෙක තබා, පවුලේ කාලය තුළ වැඩ සාකච්ඡා කිරීමෙන් ඈත් වීමේ වැදගත්කම ඔබ අවබෝධ කර ගත යුතුය.

පවුලේ ව්‍යාපාර යනු ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම ව්‍යවසාය අංශයේ පදනම වේ – එමෙන්ම  ලෝකයේ විශාලතම ව්‍යවසායන් බොහොමයක් පවුල් ව්‍යාපාර තුලින් ආරම්භ වූ අතර සමහර ඒවා පවුලේ ව්‍යාපාර ලෙස දැවැන්ත මට්ටමෙන් මේ වන විටත් පවතී. මින් පෙන්නුම් කරන්නේ ඒවා කෙතරම් වැදගත්ද යන්න සහ මෙම ව්‍යාපාර වලට ඇති විභවතාවයන්  පිළිබඳවයි.

පවුල් සබඳතා කළමනාකරණය කිරීම, පවුලේ නොවන දක්ෂයින්ට සාධාරණ ලෙස සැලකීම, ව්‍යාපාරයට වඩාත් ම හිතකර අංශ කෙරෙහි අවධානය යොමු කිරීම, සියලු පාර්ශ්වයන් කෙරෙහි විශාල සංවේදනයකින් කටයුතු කිරීම පවුලේ  ව්‍යාපාර සමෘද්ධිමත් වීමට උපකාරී වේ.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X