spot_imgspot_img

ඔබේ ප්‍රතිපෝෂණය ඵලදායී වේද?

“සේවකයින්හට නොපමාව, පැහැදිලිව සහ ඔවුන්ගේ දියුණුවට උපකාරී වන ලෙසින් ප්‍රතිපෝෂණයන් (Feedback) ලබාදෙන්නේ නම් සහ එම ප්‍රතිපෝෂණ ඉක්මනින් ක්‍රියාවට නැංවිය හැකි ඒවා නම්, එමඟින් සේවකයින්ගේ අභිවෘද්ධිය සැලසේ.”

– Gallup’s 2017 State of the American Workplace report

යහපත් හෝ අයහපත් වේවා, යම් කිසි ප්‍රතිපෝෂණයක් ලබා දීම ඉතා අභියෝගාත්මක දෙයක් විය හැක. ප්‍රායෝගිකව සලකා බැලුවහොත්, යම් කිසි පුද්ගලයෙකු හට තමාට අදාල කාර්යය තේරුම් ගැනීමට අපහසු යැයි සිතමු. කෙතරම් උත්සාහ දැරුවද තමන්ට නියමිත කාර්යය ඵලදායී ලෙස ඉටු කිරීමට ඔහුට/ඇයට නොහැකි යැයිද සිතමු. මෙහිදී, එම පුද්ගලයා නිවැරදි කරමින් සහ වඩා සාර්ථක විකල්ප පෙන්වා දෙමින් ඔහුට හෝ ඇයට උපකාර කිරීමට ඔබට හැකියාවක් තිබියදී, එම පුද්ගලයා යම් ආකාරයකින් අධෛර්‍යමත් වේ යැයි හෝ ඉන් ඔහුගේ/ඇයගේ ආත්මාභිමානයට යම් හානියක් වේ යැයි සිතා ඔබ ඉන් වැළකී සිටින්නේද? එසේ නම් මෙම උපදෙස් කිහිපය ඔබට අතිශය වැදගත් වනු ඇත.

මෙය සිදු කරන්නේ කෙසේ ද?

  • හැම විටම එකිනෙකා අතර පුද්ගලිකව කතා බහක් ඇති කර ගැනීම වඩාත් උචිතයි.
  • එහි දී පෞද්ගලික දෑ පිළිබඳ කතාබහෙන් වැළකිය යුතුයි (ව්‍යාපාරයට අදාළ ව වෘත්තීය අවශ්‍යතා ගැන මිස පෞද්ගලික කාරණා හුවමාරු නොවිය යුතුයි).
  • ඔබගේ ප්‍රකාශ පරස්පර විරෝධී වුවහොත් ඔබට කීමට අවශ්‍ය කාරණය පිළිබිඹු නොවීමට ඉඩ ඇති හෙයින් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.
  • වඩාත් ම වැදගත් වන්නේ ඔබේ ස්වරයයි. ඍණාත්මක ප්‍රකාශ සිදු කිරීමේ දී ඒ ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි.

මෙය සිදු කළ යුත්තේ කුමන අවස්ථාවලද ?

  • යම් සිදුවීමකට අදාළ ව ප්‍රතිපෝෂණ ලබා දීම, හැකි ඉක්මනින් කළ යුතුයි. (කෙසේ වෙතත්, මේ සඳහා ඔබට සහකම්පනයෙන් (empathy) යුක්තව අර්ථකාරී ප්‍රතිපෝෂණ ලබාදීමේ හැකියාව තිබිය යුතුයි. යම් කිසි සිදුවීමක් පිළිබඳව ඔබ කෝපයට පත් වී සිටී නම්, තීරණ ගැනීමේ දී කෝපය අහිතකර ලෙසින් බල පෑ හැකි නිසා, එය ප්‍රතිපෝෂණය ලබා දීමට නුසුදුසු වේලාවක් විය හැකිය.)
  • දැනට සිදු කරමින් යන කටයුතු පිළිබඳ ප්‍රතිපෝෂණ (feedback),  නිතිපතා ලබා දිය හැක. (ඔබ විසින්ම එවන් නියමයක් පනවා ඇති විටෙක හැර, ප්‍රතිපෝෂණ (feedback) ලබා දිය හැක්කේ ඇගයීම් සාකච්ඡාවේ (appraisal interview) දී පමණක් බවට සම්මත නියමයක් නොමැත)
  • ප්‍රතිපෝෂණ (feedback) ලබා දිය හැකි වන්නේ කිසිවක් නියමිත ආකාරයෙන් සිදු  නොවනා විටකදී පමණක් නොවේ. අදාල ක්‍රියාවෙන් ව්‍යාපාරයේ ප්‍රධාන ක්‍රියාවලියට බලපෑමක් ඇතත් නැතත්, සෑම පුද්ගලයෙක්ම තමාගේ යහපත් ක්‍රියාවක් අගය කරමින් ප‍්‍රතිපෝෂණයක් ලැබීමට ප්‍රිය කිරීම සාමාන්‍ය දෙයකි. (ඔබගේ කාර්‍යාල කාර්‍ය සහායකයෙකු විසින් අමතර විදුලි පහනක් නිවා දැමූ විට එයද පැසසිය යුතු කාරණාවකි)

ප්‍රතිපෝෂණය ලබා දීම යනු ඉතා සූක්ෂම කාරණයක් බව ඔබට පැහැදිලි වනු ඇත. ප්‍රතිපෝෂණය ලබා දීමෙන් ඔබ අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඔබ සතු විය යුතුය. ඔබ කෙනෙකුට ප්‍රතිපෝෂණයක් ලබා දෙන්නේ නම් එය ඔබ දෙදෙනාට ම අදාළ කරුණු මත පදනම් වූ, එකිනෙකාට ප්‍රයෝජනවත් දෙයක් විය යුතුයි. ඉන් ඔබට ඔබේ අපේක්ෂාව ඉටු කර ගැනීමට හැකි විය යුතු අතර ලබන්නාට ද සිය දුර්වලතාවක් ඇත්නම් එය නිවැරදි කර ගැනීමටත්, ස්වයං සංවර්ධනයටත් උපකාරී විය යුතුය. ඔබේ ප්‍රතිපෝෂණය ලබන්නා එය වැදගත් කොට සැලකිය යුතු යැයි ඔබ අපේක්ෂා කරන තරමට ම, ඔබද එය වැදගත් ලෙසින් සැලකිය යුතුය.

ඔබ එක්තරා බරපතළ සිදුවීමක් සම්බන්ධව කෙනෙකුට ප්‍රතිපෝෂණයක් ලබා දෙන්නේ යැයි සිතමු. ඔහුගේ හෝ ඇයගේ කතාව හරි හැටි නොදැන ඔබ ලබා දෙන තීරණ වැරදි හෝ පක්ෂපාතී විය හැක. එබැවින් පළමුව ඔහු/ඇය ගෙන් ප්‍රතිපෝෂණ ලබා ගැනීමට කටයුතු කරන්න. අන් අයගේ යෝජනා ලබා ගැනීමට පමණක් නොව ඔබ පිළිබඳ විවේචනය කෙරෙන ප්‍රතිපෝෂණ පවා භාර ගැනීමට කටයුතු කරන්න. තවද, ඔබේ මට්ටමින් ලබා දිය හැකි සියලු සහය ඔහුට හෝ ඇයට ලබා දෙන බවට ද සහතික වන්න. ඔබට යම් කෙනෙකු හට කිසියම් කාරණයක් ඔප්පු කිරීමට අවශ්‍ය නම් සැබෑ ජීවිතය හා සම්බන්ධ උදාහරණ වුවද යොදා ගැනීම වඩා උචිත වනු ඇත (ඇතැම් විට ඔබ පිළිබඳව ම). නමුත් ඔබ ඔහුට හෝ ඇයට බලහත්කාරයෙන් යම් කිසිවක් ඒත්තු ගන්වන්නට යන බවක් නො හැඟෙන අයුරින් කටයුතු කිරීමට වග බලා ගත යුතුය.

ඉහත සඳහන් කළ සියලු පියවර අනුගමනය කරන අතර වාරයේ, කිසිදු අවස්ථාවක ඔවුන්ගේ කාර්යවලට ඍණාත්මක ලෙස බලපෑමක් හෝ ඔවුන් අධෛර්යයට පත් කිරීමක් හෝ සිදු නොකිරීමට සැලකිලිමත් වන්න. මෙකී සියල්ලට ම වඩා, ඔබ කටයුතු කරන්නේ හැඟීම් දැනීම් සහිත මිනිසුන් සමඟ බව මතක තබා ගන්න.

Get in Touch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_imgspot_img

Related Articles

spot_img

Get in Touch

Latest Posts

X